Friday, August 17, 2012

Passwords හැකර්ලා ගෙන් රැක ගන්න Last Pass භාවිතා කරමු.



මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉතා වැදගත් දෙයක්. සමහරු දැනටමත් මේක බාවිතා කරනවා ඇති. ඒත් තාමත් බාවිතා නොකරන මේ ගැන නොදන්න අයට වැදගත් වෙයි කියලා හිතුන නිසා පොඩ්ඩක් ලියන්න තීරණය කරා. අපි හැමෝටම අන්තර්ජාලයෙ විවිධ එකවුන්ට් තියෙනවා. ඊමේල් එකවුන්ට්, ෆේස්බුක් එකවුන්ට්, ඔන්ලයින් බෑන්ක් එකවුන්ට්, වගේ තව තව ගොඩක් දේවල්. තමන් තමන්ගෙ එකවුන්ට් ගැන ගොඩක් සැලකිලිමත් වෙන පුද්ගලයෙක් නම් කවදාවත් හැම එකවුන්ට් එකකටම එකම පාස්වර්ඩ් එකක් බාවිතා කරන්නෙ නෑ. මොකද පිටස්තරයෙක් කිසියම් ක්‍රමයකින් ඔබව රවට්ටලා ඔබේ පාස්වර්ඩ් එක දැන ගත්තොත් ඔබ ඔබේ සෑම ගිණුමකටම බාවිතා කරලා තියෙන්නෙ එකම පාස්වර්ඩ් එකක් නම් ඔබට ඒ සියලුම එකවුන්ට් අහිමි වෙනවා. ගොඩක් වෙලාවට හැකර්ලා... සොරි වැරදුනා... ස්ක්‍රිප්ට් කිඩ්ස්ලා ඔබේ පාස්වර්ඩ් දැන ගන්නෙ ඔබව රවට්ටලා. සෝෂල් නේට්වර්ක් බාවිතයෙන් කිසියම් පුද්ගලයෙක් රවට්ටලා ඔහුගේ පුද්ගලික තොරතුරු ලබා ගන්න එකට අපි කිසිම වෙලාවක හැක් කරනවා කියලා කියන්නෙ නෑ. නමුත් ගොඩක් අය මම දැකලා තියෙනවා ෆේස්බුක් එකවුන්ට් හැක් කරා... ඊමේල් එකවුන්ට් හැක් කරා කිය කිය කෑ ගහනවා. නමුත් එතන ඇත්තටම හැක් කිරිමක් වෙලා නෑ. වෙලා තියෙන්නෙ යම් පුද්ගලයෙක්ව රවට්ටලා ඔහුගේ පාස්වර්ඩ් එක සොරකම් කිරීම පමණයි. එසේ යම් කෙනෙක්ව රවට්ටලා පාස්වර්ඩ් එක හොරකම් කරන්න පුලුවන් ආකාර ගොඩක් තියෙනවා. ඔබ බුද්ධිමත් නම් කාටවත් ඔබේ පාස්වර්ඩ් හොරකම් කරන්න බෑ. අනිත් එක තමයි දැන් ජී මේල් වල ෆේස්බුක් වල පවා ඉතාමත් හොඳ සාර්ථක පහසුකමක් හඳුන්වලා දීලා තියෙනවා. දැන් කියලා කිව්වට මේවා ඇවිල්ලා ටික දවසක් වෙනවා... ගොඩක් අය දන්නවා මේ ගැන. ඒ තමයි Facebook වල Login Approvals සහ Gmail වල 2-Step Verification කියන පහසුකම්. ඉතින් මේ පහසුකම් ඔබ සක්‍රීයකර ගත්තොත් ඔබ ගොඩක් ආරක්ශිතයි වගේම පාස්වර්ඩ් එක පිටස්තරයෙක් අතට පත් උනත් බයවෙන්න දෙයක් නෑ.

ඒවා ගැන ඒ ඇති. අද මම ඔයාලට කියන්න යන්නෙ අපගේ පාස්වර්ඩ් මැනේජ් කරන්න පුලුවන් විශ්වාසවන්ත හා ආරක්ෂිත දැනට තිබෙන ලෝකයේ තියෙන හොඳම Password Manager මෘදුකාංගයක් ගැන. ඒ තමයි LastPass Password Manager මෘදුකාංගය. මේක නොමිලේ සපයන මෘදුකාංගයක්. පහසුකම් පොඩ්ඩක් වැඩි සංස්කරණයක් අවුරුද්දකට ඩොලර් 12ක් වගේ පොඩි ගානක් දීලා ගන්නත් පුලුවන්. නමුත් මේ නොමිලේ දෙන සංස්කරණය අපිට අපේ ආරක්ෂාව සඳහා හොඳටම ප්‍රමාණවත්.

Lastpass බාවිතයේ තියෙන වාසි මොනවද කියලා සමහර විට ඔයාලට හිතෙන්න පුලුවන්. මම පහලින් ඔබට ලැබෙන ප්‍රධානම වාසි ටික දාන්නම්.

01.) පලවෙනි එක තමයි අපිට පාස්වර්ඩ් මතක තියාගන්න ඕන වෙන්නෙ නෑ. මොකද Lastpass අපේ පාස්වර්ඩ් මතක තියාගන්නවා. ඔබට මතක තියාගන්න වෙන්නෙ Lastpass සඳහා දෙන මාස්ටර් පාස්වර්ඩ් එක විතරයි. සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරද්දි මාස්ටර් පාස්වර්ඩ් එකට හොඳ ශක්තිමත් පාස්වර්ඩ් එකක් දෙන්න, ඒ වගෙම ඒ පාස්වර්ඩ් එක හොඳින් මතක තියා ගන්න.

02.) දෙවනි වාසිය තමයි අපිට අපේ මොකක් හරි එකවුන්ට් එකකට ලොග් වෙන්න ගියාම යූසර්නේම් හා පාස්වර්ඩ් ටයිප් කර කර කාලය කන්න ඕන නෑ. AutoFill පහසුකම තියෙන නිසා එක ක්ලික් එකෙන් පාස්වර්ඩ් යූසර් නේම් තෝරලා දෙන්න පුලුවන්.

03.) තුන්වෙනි පහසුකම තමයි අපිට පාස්වර්ඩ් මතක තබා ගැනීමේ උවමනාවක් නැති නිසා එක් එක් එකවුන්ට් එක සඳහා එකිනෙකට වෙනස් පාස්වර්ඩ් ලබා දීමට හැකි වීම.

04.) තව ලැබෙන වාසියක් තමයි ඉතා ශක්තිමත් පාස්වර්ඩ් අපිට මේ මෘදුකාංගය බාවිතා කරලම සාදා ගන්න හැකි වීම.

මම හිතනවා ඔබට මේ ඉතාමත් වටිනා මෘදුකාංගය ගැන වැටහීමක් ලැබෙන්න ඇති කියලා. ඔබ එක පාරක් හරි මේ මෘදුකාංගය බාවිතා කරලා බලන්න. එතකොට ඔබට වැටහේවි වෙනස.
 
 
 
 

No comments:

Post a Comment